"ආදරය"යන වචනය ඇසූ පමණින් ඕනෑම කෙනෙකුට එය හොඳින් හුරුපුරුදු ආගන්තුක නොවන වචනයක් බව නිසැකය.එපමණක් නොව මෙය මුළු මහත් ලෝකයටම පොදු වූ මාතෘකාවක් ද වන්නේය.ආදරයට අර්ථකථන සැපයීම නම් ඒ තරම්ම පහසු කාර්‍යක් නොවන්නේය.මන්ද යත් විවිධාකාර වූ අර්ථකථනයන්,අදහස්,ආකල්පයන්,විචාරයන් ඔස්සේ ආදරය විග්‍රහ කොට දැක්විය හැකිය.කෙසේ නමුත් එක් අර්ථකථනයකට ආදරය සීමා කරනවාට වඩා එක් එක් කෙනා තුළ ආදරය පිළිබඳව ඇති අදහස ඒ ආකාරයෙන්ම තැබීම වඩාත් සුන්දර වනු ඇත.
කෙනෙකුට ආදරය කියූ පමණින් සිහි වන්නේ කුමක්ද?,ඔව්..බොහෝ දෙනාට එක්වරම සිහි වන්නේ ප්‍රේමවන්තයන් අතර ඇති ආදරයයි.නමුත් මේ ලෝකය තුළ ආදරය විවිධාකාරයෙන් පවතී.දෙමාපියන් හා දූදරුවන් අතර ඇති ආදරය,සහෝදර සහෝදරියන් අතර ඇති ආදරය,ගුරුවරු හා දරුවන් අතර ඇති ආදරය මෙන්ම මිනිසුන් හා සතුන් අතර ඇති ආදරය යනාදී වශයෙන් විවිධ වූ සබදතා මත ආදරය ගොඩනැගී පවතී.ආදරය ඉතා සුන්දර හෝ බොළඳ හෝ ගැඹුරු හෝ මාතෘකාවක් බවට පත් වන්නේ ඒ ඒ පුද්ගලයා ආදරය සමග ලබා ඇති අත්දැකීම් සමගය.කෙනෙකුගෙන් "ඔබ ආදරය පිළිබඳව දකින්නේ කොහොමද?"යන්න විමසූ විට බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ"ආදරය කියන්නේ හරිම සුන්දර හැගීමක්"වැනි සුලබ පිළිතුරකි.තවත් අයෙකු ආදරය පිළිබඳව කතා කිරීමටවත් කැමැත්තක් නොදක්වයි.තවත් අයෙකු ඉතා ගැඹුරු අර්ථකථනයන් ද ලබා දීමට පුලුවන.මේ ආකාරයට ආදරය පිළිබඳව බොහෝ පැතිකඩයන් ඔස්සේ සාකච්ඡා කළ හැකිය.ආදරය විටෙක ත්‍යාගයක් වැනිය.තවත් විටෙක ගණුදෙනුවක් වැනිය.
ආදරය වැනි හැගීමක් වඩාත් සුන්දර වන්නේ එකී සබඳතාව තුළ පවත්නා විවිධ ගුණාංග මතය.ඒ තුළ අන්‍යෝන්‍ය අවබෝධය,තේරුම් ගැනීම,ඉවසීම,දරාගැනීම,පරාර්ථකාමීත්වය මෙන්ම වඩා වැදගත්ම සාධකය වන්නේ විශ්වාසයයි.මානුෂීය සබඳතා පවත්වාගෙන යාමේදී ආදරය වැනි හැගීම් තුළ මේ සියල්ල කැටි වී පවතී.මේ සියල්ලට මූලාරම්භය සැපයෙන්නේ එකිනෙකා අතර පවත්නා විශ්වාසය මතය.ආදරය තුළදී මෙය වඩා ප්‍රබල වන්නේ ඇතැමුන්ගේ ජීවිතවල බොහෝ සංදිස්ථාන මේ සමග වෙනස් වීමත් සමගය.
දෙපාර්ශවයක් අතර ගොඩ නැගෙන්නා වූ සම්බන්ධතාවන් තුළ විශ්වාස කරන්නෙකු මෙන්ම විශ්වාසය රකින්නෙකුද සිටී.මෙකී භූමිකා සබඳතාව තුළ හුවමාරු වෙමින් ගලා යයි.විශ්වාසය ඉතා ප්‍රබල වන්නේ බිඳුණු වීදුරුවක් නැවත සකස් කිරීමට නොහැකි සේම බිඳුණු විශ්වාසයක් ද නැවත ඇතිකිරීම අපහසු හෝ කෙදිනකවත් සිදු නොවන්නක්ද සිදු විය හැකිය.විශ්වාසය ගිලිහෙන තැනින්ම ආරම්භ වන්නේ සැකයයි.එතැන් පටන් සියලු දේ තුළ අවිශ්වාස,සැකය මතු වී පෙනෙන්නට පුළුවන.
තමන්ගේම ආදරණීයන් තමා එතෙක් ඔවුන් කෙරෙහි තබා තිබූ අසීමිත විශ්වාසයක් ක්ෂණයකින් බිද දැමුවහොත් විශ්වාස කළ පුද්ගලයා කෙතරම් නම් පීඩාවකට පත් වන්නේද?මෙම කාරණය බොහෝ දුරට ප්‍රේමවන්තයන් තුළ දැකගත හැකිය.එක් අයෙකුගේ විශ්වාසය කඩකිරීම් මත පමණක්ම නොව අනෙකා නිකරුණේ අවිශ්වාස කිරීම මතද මෙවන් තත්ව උදාවිය හැකිය.
කෙනෙකු කෙරෙහි විශ්වාසයක් නොමැතිව නිතරම අවිශ්වාසයෙන් සැකයෙන් එකී පුද්ගලයා දෙස බලන්නේ නම් ඔහු හෝ ඇය කෙතරම් කැපකිරීම් සිදු කළද ඉන් ඵලක් වන්නේ නැත.ඒ සියල්ල අවිශ්වාසයට යටපත් වනු ඇත.මේ නිසාම ඉතා වටිනා සබඳතා දුරස් වීම,සබඳතා බිද වැටීම,ආදරණීයන් වෙන්වීම වැනි අමිහිරි අත්දැකීම් රැසක් ජීවිතයට ළඟා වනු ඇත.
තවත් වැදගත් දෙයක් වන්නේ විශ්වාසය තබන පුද්ගලයාගේ විශ්වාසය රැකීමයි.කෙනෙකු තමන් කෙරෙහි තබන විශ්වාසය අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ තුලින් අනෙක් පුද්ගලයා පීඩනයට පත් කරන්නේ නම් එතැනදී ආදරය වැනි කාරණා වෛරයකට වුවද පෙරළිය හැකිය.සමාජයේ ඕනෑ තරම් එවැනි සිදුවීම් අප දැක තිබේ.බොහෝ දෙනෙකුගේ සබඳතා තීරණය වන්නේ විශ්වාසය මතය.ඇතැමුන් විශ්වාසය කඩවූ එක් අවස්ථවක් නිසා ජීවිතයේ යළි කිසිදාක කිසිදු කෙනෙකු විශ්වාස නොකරන තත්වයට පවා පත් වනු ඇත.තවද සබඳතාව පවත්වාගෙන ගියද ඒ තුළ විශ්වාසයක් නොමැතිව හිස් බවක් දැකගත හැකිය.
මේ ආකාරයට ආදරය මෙන්ම ඕනෑම මානව සබඳතාවක් තුළ විශ්වාසය යන කාරණාව ඉතා වැදගත් වනු ඇත.කෙනෙකු තව කෙනෙකුව විශ්වාස කිරීම තුළ සබඳතාවන් පුළුල් වීම මෙන්ම විශ්වාසය රැකීම මත ආදරණීයන් සමීප වීමද සිදුවේ.මානුෂීය හදවත් ඇති මිනිසුන් මෙවැනි වටිනා සබඳතා හොඳින් හඳුනන්නෝය.බැදීමක අර්ථය,වටිනාකම ඔවුහු නිසිලෙස දනිති.ඒ නිසාම තවකෙකුගේ හැගීම් තමන්ටද ආරෝපණය කරගෙන සසඳා බලා අනුන්ද තමා වැනිම මනුෂ්‍යයින් යැයි සිතා කටයුතු කරන තෙක්ම මානව සබඳතා මිහිරි,ආදරණීය ජීවත් වන්නට බලාපොරොත්තු එක්කරන්නා වූ බැදීම් වනු නියතය.