ජීවිතය පිළිබඳව ඔබ,මා,අප දකින්නේ විවිධාකාර ලෙසය.කෙනෙකු ජීවිතයේ සතුටින් සිටින වෙලාවක තවත් කෙනෙකු දුකින් සිටිනවා විය හැකිය.තවත් අයෙකු ජීවිතය පිළිබඳව කලකිරීමෙන් සිටිනවා විය හැකිය.නමුත් තේරෙන වයසේ පටන් මේ වනතුරුම කිසිවෙකු සතුටින්,දුකින් හෝ කලකිරීමෙන් සිටිනවා යැයි කිව නොහැකිය.මන්ද යත් ජීවිතය යනු,මේ සියලු හැගීම් කැටිකර ගත් තාවකාලික නවාතැන්පළක් වන බැවිනි.එවන් ජීවිතය තුළ විවිධ අවස්ථා පසු වන්නේ කාලයත් සමග සිතූ හෝ නොසිතූ ආකාරයට ගලා යමිනි.
මෙලෙස ගලායන ජීවිතය තුළ කෙතරම් නම් විඩාවන්,පීඩාවන්,පසුතැවීම්,හිත් රිදීම්,ඇදවැටීම්,වෙන්වීම්,සමුගැනීම් සිදුවනවාද? දරාගැනීමට නොහැකිම අවස්ථා මත මිනිසුන් ජීවිතය අතහැර දමා යාමට තරම් පසුබට නොවන්නේද මෙවන් අවස්ථා ජීවිතයට ළඟා වීමත් සමගය.කෙනෙකු තදින් දරාගන්නා දෙයක් තවකෙකු හට උහුලාගත නොහැක.මිනිසුන් සියල්ල එක හා සමාන නොවන්නේ එබැවිනි.ජීවිතය එලෙසය.
මෙවන් ජීවිතය තුළ විවිධ පැතිකඩයන් නිරූපණය කෙරෙන අතර අද වන විට බොහෝ දෙනා ගත කරන්නේ විඩාබර මෙන්ම හුදෙකලා වූ ජීවිතයන්ය.එකී හුදෙකලාව, විඩාව කායික මෙන්ම මානසික වශයෙන්ද පවතී.කායික පීඩාවන් උදෙසා ප්‍රතිකර්ම,ක්‍රමෝපායන් කොතෙක් තිබුණද මානසික පීඩාවන්,හුදෙකලාවන් සදහා ප්‍රතිකර්ම අවමය.නමුත් ජීවිතයේ බොහෝ සංදිස්ථාන වල මිනිසුන් කලාව,සෞන්දර්ය හා බැදී පවතින්නා වූ අවස්ථා වල මානසිකමය සුවයක් දැනුවත්ව හෝ නොදැනුවත්වම ලැබී ඇත.ඕනෑම අයෙකු කලාව,සෞන්දර්ය හා බැදී පවතින්නේ කුඩා අවදියේ නැළවිලි ගීයත් සමගම විය හැකිය.
ගෙවාගෙන යන ජීවිතය තුළ දැනෙන මහන්සිය නිවා ගන්නට ගීතයකට සවන් දෙනවාද?හිතට දැනෙන කියා ගන්න බැරි හැගීම් වචනයට පෙරළගන කවිපදයක් ගොතනවාද?ජීවිතේ දැකපු අමතක කරන්නම බැරි දෙයක් පාට වලින් තවරනවද?ජීවිතේ වින්ද මිහිරි අමිහිරි අත්දැකීම් වචනවලට ගොනු කරලා නවකතාවකට කෙටිකතාවකට මුලපුරනවද?.ඉතින් මේ හැම තැනකම ළැගුම් අරගෙන එහෙ මෙහෙ දුවන්නෙම කලාව.
මනුෂ්‍යයින් තුළ ජීවත් වන කලාකාමී පුද්ගලයා හරි අපූරුය.නනිර්මාණකරුවෙකු මෙන්ම රසවිඳින්නෙකුද ඒ තුළ ජීවත් වෙයි.ජීවිතයේ සුන්දරත්වය හරිහැටි වැටහෙන්නේ එකී අපූරු මිනිසාගේ අවදි වීමත් සමගය.ඉපදී මැරෙන කෙටි කාලය විඳින්නට හැකි වන්නේ එවිටය.ළතෙත් හදවත් ඇත්තන් බිහිවන්නේ,සහෘදයෙකු නිර්මාණය වන්නේ,මනුස්සකම් දළුලන්නේ කලාව තුළ බිඳක් හෝ සැරිසරන විටකදීය.එවිට ජීවිතයේ ආලෝකමත් පැතිකඩ විඳිනවා සේම අඳුරු පැතිකඩයන් වුව සමසිතින් දරාගැනීමේ හැකියාව උදාවනු ඇත.
ආදරය තුළින් වෙන්වීම ලද්දෙකු නිසාම විරහ ගීතයක් බිහිවනු ඇත.හරිගිය වැරදුන තැන් මැද ජීවිතය ගෙනයන්නවුන් නිසාම කලාකෘති නිමවනු ඇත.සාහිත්‍ය,කවිය,ගීතය,නර්තනය,සිනමාව, නවකතාව,කෙටිකතාව,චිත්‍රය යනාදී මේ සියල්ල තුළ ගැබ්ව පවතින්නේ කලාවයි.මේ තුළ සෞන්දර්ය ද අවියෝජනීයව බැදී පවතී.ලොව තුළ විවිධාකාර වූ විශිෂ්ට ගණයේ කලාවන් නිර්මාණය වන්නේම මිනිසාගේ ජීවිතයේ ඇති අත්දැකීම් සම්භාරය හා ගැටෙමින් ය.කලාව උපදින්නෙද මිනිසා සමගමය.මිනිසාගේ ආධ්‍යාත්මය සමග බැදී පවතින්නා වූ කලාව තුලින් ඔවුන්ගේ හැගීම් විවිධ ආකෘති ඔස්සේ බාහිරට පෙන්නුම් කරනු ලබයි.
කලාව රසවිඳිම තුළද පවතින්නේ අපූර්වත්වයෙන් යුතු දේවල්ය.මොහොතකට නැවතී සිතූ විට ජීවිතයේ ලැබෙන පීඩාකාරීම අවස්ථාවල අප සිදු කරන්නේ කුමක්ද යන්න කල්පනා කර බැලූ විට බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ තමා කැමතිම ගීතයකට සවන් දීම හෝ චිත්‍රපටයක් නැරඹීම වැනි සෞන්දර්යාත්මක දේවල්ය.බොහෝ දෙනෙකු විනෝදාංශයන් ලෙස සිදු කරන්නේද මේවාමය.එනම් මිනිසා හා කලාව එකිනෙක බැදී පවතින සම්බන්ධතාවක් මෙන්ම ජීවිතයට කලාව අවැසි බවද නොඅනුමානය.
වර්තමානය වන විට මෙය තවදුරටත් වර්ධනය විය යුතුව ඇත.ඊට හෙතුව අද වන විට මිනිසා හුදෙකලාභාවයට පත් වී ඇති අතරම මානසික පීඩනය අතින්ද ඉහළ මට්ටමක පවතී.සිතෙහි සැහැල්ලුභාවය,විවේකය මෙන්ම රසවින්දනය තුළද ජීවිතයේ වින්දනය ලබා ගත හැකිය.කලාව හා සමීප පුද්ගලයාට මෙය පහසුය.ඒ තුළ ජීවිතය තේරුම් ගැනීම පහසුය.කලාව තුළින් සිහින ලොවක ජීවත් වන්නෙකුද නිර්මාණය විය හැකි අතර යථාර්තවාදීව ජීවිතය දෙස බලන්නෙකු නිර්මාණය වීම යන දෙයාකාරයෙන්ම සිදුවිය හැකිය.උසස් ගණයේ කලා නිර්මාණ තුළ ජීවිතය සංකීර්ණ ලෙස විග්‍රහ කරනවා සේම වචන දෙක තුනකින් පවා ඒ දෙයම සිදු කිරීමට ඇති හැකියාව කලාව තුළ පවතී.එවන් වූ කලාව තුලට මිනිසාගේ පිවිසීම අත්‍යවශ්‍ය වන්නේ ජීවිතය විදීමේ කලාව පවතින්නේ කලාව තුළ වන බැවිනි.සුන්දර ,අපූරු,විචිත්‍ර මිනිසෙකු බිහි වන්නේ ඒ තුළිනි.එවිට ගෙවා යන ජීවිත ගමන අතරමැද ගිමන් හැරීමට නතරවන මංපෙත් වල රිසිසේ ජිවිතය විඳ නැවත ගමන ආරම්භයට සවි ශක්තිය ලබා ගෙන ගමනාන්තයට ළගා වී ආපසු හැරී බැලූවිට තමාද සොදුරු මිනිසෙකු යැයි සිතෙනු නොඅනුමානය.